ETCA නිසා පාසල් නෑ.



එට්කා ගිවිසුම ඉදිරියට ගෙන ඒම උදෙසා වෛද්‍යවරුන්ට වෙනත් ගැටළු ඇති කිරීම හෙළා දකිමු.

රජය විසින් ස්ථාන මාරුවීම් ලැබෙන වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසලක් ලබාදීමේදී මෙතෙක් අනුගමනය කළ පිළිවෙත හදිසි‍යේම වෙනස් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම හදිසි පියවර හුදකලා පියවරක් නොවන බව අපගේ වැටහීමයි.

රජය විසින් නිසි ක්‍රමවේදය අනුගමනය නොකොට, නිසි අධ්‍යනයකින් තොරව, ඊට අවැසි නීතිමය ප්‍රතිපාදන රට තුළ සකස් නොකොට, ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව නිසි ජාතික ප්‍රතිපත්තියක් සකස් නොකොට, ඉන්දියාව සමඟ සේවා ගිවිසුමකින් රටට ඇතිවන හිතකර සහ අහිතකර බලපෑම පිළිබඳව නිසි සංවාදයක් රට තුළ ඇති නොකොට, මෙම ගිවිසුම සම්බන්ධ සියළු කටයුතු කාටත් හොරා කිසිදු විනිවිදභාවයකින් තොරව සිදු කරමින් හුදු ඉන්දීය බලපෑම පමණක් සළකා එට්කා ගිවිසිම අත්සන් කිරීමට උත්සාහ දරයි. ඒ සඳහා රජයට ඇති ප්‍රධාන අභියෝගයකි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

රජය මෙවේලේ මෙම සංවේදී ගැටළුව වෛද්‍යවරුන්ට ඇති කරන්නේ වෛද්‍යවරුන්ගෙන් පළිගැනීමට පමණක්ම නොවේ. මෙමගින් රජයේ උපාය වී ඇත්තේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වෙත වඩාත් ස්වීය වූ ගැටළුවක් ඇතිකර ඔවුන් ඒ ගැටළුව වටා ගොනුකර තැබීමයි. ඒ මඟින් ඔවුන්ට එට්කා ගිවිසුමට ඇති ප්‍රතිවිරෝධය අවම කර ගත හැකි බවට ගණන් බලන අතර මෙම ගැටළුවම භාවිතා කරමින් රජයේ වෛද්‍යවරුන් වෙත ජනතා අප්‍රසාදයක් ඇති කිරීමටද රජය උත්සාහ දරුනු ඇත. මෙවැනි දුෂ්ඨ උපක්‍රම අවැසි වනුයේ එට්කා ගිවිසුම දුෂ්ඨ ගිවිසුමක් වන නිසා බව මෙරට ජනතාව තේරුම් ගෙන ඇත. මෙවැනි පහත්පෙලේ උපක්‍රමයන් යහපාලනය නමැති උදාර සංකල්පයට ඉඳුරාම පටහැණි බව කිවමනා නොවේ.

මෙවේලේ සියළුම වෘත්තියන් ප්‍රමුඛ පොදු ජනතාව විසින් රජයේ මෙම ලජ්ජාසහගත ක්‍රියාව හෙළාදකිමින් එවැනි බාල ක්‍රමවේදයන්ගෙන් ඉවත් වීමට බලපෑම් කිරීම යහපාලනයක් අපේක්ෂා කරන සියළු දෙනාගේ වගකීමක් බව අවධාරණය කරන්නට අපි කැමැත්තෙමු. මෙවේලේ රජය විසින් කළ යුත්තේ ජාත්‍යන්තර වෙළදාම පිළීබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවංකවම යොමු වීමත්එවැනි ප්‍රතිපත්තියක් පුළුල් සංවාදයක් මඟින් සකස් කරගන්නා තෙක් දැනට විනිවිදභාවයකින් තොරව හොර රහසේ කර ගෙන යන එට්කා ගිවිසුමට අදාළ කටයුතු අත්හිටුවීමත් මිස යහපාලන සංකල්පයනට අනුකූලව වෙළඳ ගිවිසුම් සඳහා යොමුවන්නැයි ඉල්ලා සිටින වෘත්තිකයන් පෙළීම නොවන බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

රජය අධ්‍යාපනය සඳහා රජය විසින් පොරොන්දූ වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% කෙසේ වෙතත්, අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.5%ක්වත් වෙන් කරමින් පාසල් අධ්‍යාපන පහසුකම් නංවාලීමට කටයුතු කළ යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ අදහසයි.

ලසන්ත වික්‍රමසිංහ
ලේකම්
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය.

No comments:

Post a Comment

Pages