තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් නිකුත් කළ මැයි දින පණිවුඩය
රටේ අයිතිය ස්වදේශිකයාට අහිමි කරවීමට ඉඩ නොතබමු
ශ්‍රී ලංකාවේ අගමැතිවරයා සිය ඉන්දියානු සංචාරය තුළදී ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණය ඉන්දියාවට පැවරීමට පමණක් නොව, ඉතා පුළුල් අවබෝධතා ගිවිසුමකට ඉන්දියාව සමඟ එළැඹ තිබේ. එම අවබෝධතා ගිවිසුමට අනුව තෙල් ටැංකි සංකීර්ණයට අමතරව, ත්‍රිකුණාමලයේ වරායක්, තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඇතුළු ත්‍රිකුණාමල ප්‍රදේශයේ වෙනත් කර්මාන්ත සඳහා ද ඉන්දියාව සම්බන්ධ කර ගැනීම නියමිතය. ඊට අමතරව LNG ගෑස් බලාගාරයක්, කෙරවලපිටියේ ඉදිකරන ගෑස් රදවන මධ්‍යස්ථානයක් සහ නළ මගින් ගෑස් ප්‍රවාහන පද්ධතියක්, යාපනය-මන්නාරම, මන්නාරම- ත්‍රිකුණාමලය, ත්‍රිකුණාමලය- දඹුල්ල යා කරමින් ඉදිවන අධිවේගී මාර්ඟ සඳහාද අවස්ථාව ඉන්දියාවට ලබා දීමට නියමිතය. මීට අමතරව ඉන්දියාව සහ ලංකාව යා කරමින් ඉදිවන පාලම පිළිබඳවද අගමැතිමා ඉන්දියාවේ මහාමාර්ග ඇමති සමඟ සාකච්ඡා පවත්වා ඇත.
විදෙස් මාධ්‍ය පළ කර තිබූ ආකාරයට ශ්‍රී ලංකාවේ අගමැතිවරයා හම්බන්තොට වරාය සහ ඉඩම් චීනයට ලබා දීම සමබර කිරීමට ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණය ඉන්දියාවට පැවරීමට සූදානමින් සිටියි. එසේම රටේ පොදු ජනතාවගේ බලවත් විරෝධය නොතකා එට්කා ගිවිසුම කඩිනම් කිරීමටද අගමැතිවරයා සූදානමින් සිටින බව වාර්තා වේ.
රටක නායකයින්ගේ වගකීම විය යුත්තේ තම රටේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා හේතුවන අන්තර්ජාතික එකඟතාවන්ට එළැඹිම විණා, රටේ එක ආර්ථික මර්මස්ථානයක් එක් රටකට ලබා දෙන විට උරණ වන අනෙක් රට සැනසීම සඳහා ඒ රටට තවත් ආර්ථික මර්මස්ථානයක් ලබා දීම නොවන බව සඳහන් කරන්නට සිදු වීම කණගාටුවට කරුණෙකි.
වර්තමාන රජය අනෙක් රජයන්ට වඩා වෙනස් වන්නේ ඔවුනට ලැබුනු ජනවරම රටේ යහපාලනය ස්ථාපිත කිරීම සඳහාම ලැබුනු ජනවරමක් නිසාවෙනි. එනිසා යහපාලන ක්‍රමවේදයට අනුගතවීමට උත්සාහ කිරීම රජයේ පරම වගකීමක් බව නොකිව මනාය. නමුත් අවාසනාවන්ත අයුරින් අද රටේ යහපාලනය තව දුරටත් පිරිහෙමින් පවතින්නේ හුදෙක් එය ක්‍රියාවට නැංවීමට ඇති නොහැකියාව නිසා පමණක් නොවේ. රජයට ඒ සඳහා අවංක වුවමනාවක් නැතුවා පමණක් නොව, රජය ක්‍රියා කරන්නේම යහපාලනයට එරෙහිව වීම කණගාටුවට කාරණයකි. අත්තනෝමතික ලෙස එට්කා ඇතුළු ජාත්‍යන්තර වෙළද ගිවිසුම් වලට අත්සන් තබන්නට සැරසෙන මේ කාලයේ තොරතුරු දැනගැනීමේ පනත මඟින්ම ජාත්‍යන්තර ගිවිසුම් පිළිබදව ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය වළකාලීමට කටයුතු කිරීම යහපාලනය නීත්‍යානුකූලවම අහෝසිකිරීමට කටයුතු කළ එක් අවස්ථාවකි.
කෙසේ නමුත් වෘත්තියකයන්ගේ ජාතික පෙරමුණ ලෙස මෙරට ප්‍රබල වෘත්තීය සංගම් එකමුතුවක් බිහි කර ගැනීමට දැන් සමත් වී ඇත. එය දිවයිනේ මෙතෙක් බිහි වී ඇති පළල්ම වෘත්තිකයන්ගේ එකමුතුවකි. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් ජාත්‍යන්තර වෙළදාම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා මහජන කොමිෂන් සභාවක් පිහුටුවන ලදී. එම කොමිෂන් සභාවේ සමසභාපතීත්වය කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මැතිතුමා සහ හිටපු නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා විසින් හොඹවනු ලබයි. මේ දක්වා මෙම කොමිසම වෙත කැබිනට් අමාත්‍යවරු ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ව්‍යවසායකයන්, වෘත්තීයවේදීන් සහ සංවිධාන රැසක් සිය අදහස් ලිඛිතව සහ වාචිකව ඉදිරිපත් කර ඇත. ඒ නිසා රජය විසින් කළ යුත්තේ මහජන අදහස් ලබා ගෙන ස්වාධීන ලෙස සිදුවන මෙම ක්‍රියාදාමය ආදර්ශයට ගෙන සිය අත්තනෝමතික ගිවිසුම් ගත වීම් සහ දේශීය මර්මස්තාන විදේශිකයන් වෙත විකුණා දැමීම අත්හිටුවීමයි. මෙම කොමිෂන් සභාව මඟින් ලබා ගන්නා මහජන අදහස් මත නිපැයෙන වාර්තාව වෙත සිය අවදානය යොමු කොට එම වාර්තාවට අවැසි නෛතික පසුබිම පාර්ලිමේන්තුව හරහා ලබා දීම රජයේ වගකීම වේ. එය එසේ සිදු නොවන්නේ නම් මෙම වර්තමාන අත්තනෝමතිකභාවයෙන් රජය මුදවා ගැනීම සඳහා අවැසි බලවේගය ගොඩ නංවන්නට සියලුම වෘත්තිකයන් ඇතුලු වැඩ කරන ජනතාව එක මිටකට ගොනු විය යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය 2017 වසර සඳහා සිය මැයි දින පණිවුඩයෙන් අවධාරණය කර සිටින්නෙමු.
රටේ ජනතාවට හිමි අවස්ථාව අහිමි කරවන, ශ්‍රමය කොල්ලකෑමට ලක්වන, රටේ වෙළඳ හිඟය අර්බුදයට ලක් කර ගෙවුම් තුලන අර්බුදයක් වෙත රට රැගෙන යන, රටේ ස්වෛරීභාවයට ප්‍රබල අභියෝගයක් වන එට්කා වැනි ගිවිසුම් පරාජය කිරීමටත්, රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන් සතු කිරීමේත් රජයේ අදූරදර්ශී ක්‍රියාමාර්ගයන් පරාජය කිරීමට සියළු දෙනා එකමුතුව කටයුතු කළ යුතු අභියෝගාත්මක කාලයක් එළැඹ ඇති බව යළි අවධාරණය කරමින් ඒ සඳහා පෙරමුණ ගන්නා ඇපකැපවෙන සියළු දෙනාට මැයි දිනය වෙනුවෙන් අපගේ සුබ පැතුම් එක් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නෙමු.
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය (SITP)
No comments:
Post a Comment