එට්කා - නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද? කෘතිය විද්වතුන්ගේ විශේෂ ඇගයීමට


තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති කපිල පෙරේරා සහ එම සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ විසින් රචිත ” එට්කා- නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය එළිදැක්වීමේ උළෙල පසුගියදා කොළඹ, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛනාගාර සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුයේය. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් සංවිධානය කරන ලද මේ උත්සවයේ මුලසුන හෙඹවූයේ එහි සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතායි. මේ අවස්ථාවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේ, පූජ්‍ය  මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරම විමලජෝති හිමියන්  ඇතුළු සංඝයා වහන්සේලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙම කෘතිය තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ප්‍රකාශනයකි. කෘතිය බෙදා හැරීම විසිදුණු ප්‍රකාශකයෝ (0112820209) විසිනි.

එහිදී මෙම කෘතිය පිළිබඳ දේශන පැවැත්වූ ආචාර්ය ගුනදාස අමරසේකර, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය සුමනසිරි ලියනගේ සහ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳූ කුමාරතුංග යන විද්වතුන් අතින් කෘතිය විශේෂ ඇගයීමකට ලක්වීම කැපී පෙනුණි. එම අදහස් කිහිපයක් පහත දැක්වේ.



සාහිත්‍ය සූරී වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා
මේ පොත කියවලා ඉවර වුණාම මට විශාල සතුටක් ඇති වුණා. මේ තරම් හොඳට මේ ප්‍රශ්නය ගැන ලියවුණු ලේඛණයක් මම කියවලා නැහැ. මේ කෘතිය ඉතාමත්ම වැදගත් විශිෂ්ට ලේඛනයක්. 
 එවැනි සතුටක් ඇති වීමට තවත් හේතුවක් තියෙනවා. මම දිගින් දිගටම බලාපොරොත්තු වුණා මේ රට තුළින් මේ රට බේරා ගැනීම සඳහා දැන උගත් තරුණ පරම්පරාවක් බිහි වේවි කියලා.  59දි ”සංස්කෘත” නැමැති සඟරාවට මම ලිව්වා මේ රටේ අනාගතය භාර ගන්නෙ ගමෙන් එන, මේ පසෙන් හැදුනු තරුණ පිරිසක්ය කියලා. 56 විප්ලවයෙන් පස්සෙ මගේ හිතේ ඇතිවුණු බලාපොරොත්තු එක්ක තමයි මම ඒ වෙලාවෙ ඒ අදහස පළ කළේ. අවාසනාවකට වගේ මගේ ඒ බලාපොරොත්තුව බොහෝ කල් යනතෙක් ඉෂ්ට වුණේ නැහැ. මේ කෘතිය ඒ පැතුම දැන් ඉෂ්ට වෙමින් තිබෙන බවට පැහැදිලි සංඥාවක් නිකුත් කරනවා.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා
මම ඇත්තටම පුදුම වුණා මෙතරම් හොඳට මේ විෂය විශ්ලේෂණය කරලා තියෙන එක ගැන. මේ විෂය ඉතාමත්ම ගැඹුරු ලෙස අධ්‍යයනය කරලා, මේ ප්‍රශ්නය ගැන විමසා බැලිය යුතු හැම පැතිකඩක්ම මේ කෘතියේ ඇතුළත් කරලා තියෙනවා.  මේ විෂය ඉදිරියට ගෙන යද්දි අපි සියලු දෙනාට මේ පොත විශාල රුකුලක් වෙනවා.

යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා
ජාතිය මුහුණ දී ඇති අති භයානක ඉරණම පැහැදිලි කරන මේ කෘතිය කියවනකොටත්   බය, නින්දාව, ආවේගයන් වගේම ඒ සියල්ලත් එක්කම මට යටපත් කළ නොහැකි ආකාරයේ සතුටක් ඇති වුනා. ඒ අන් කිසිවක් නිසා නෙමේ, අලුත් පරපුරක් මව්බිම වෙනුවෙන් දැනුවත්ව මැදිහත් වෙන්න සූදානම් කියන පණිවුඩය මේ කෘතිය හරහා අපට ලැබෙන නිසා.

No comments:

Post a Comment

Pages