අපේ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය ගිලගන්නා එට්කා

"එට්කා එපා- විද්වත් මතය" නමින් දිවයින පුවත්පත සමඟ නිකුත් වූ අතිරේකයේ පළ වූ තොරතරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ලිපිය.

ශ‍්‍රීඝ‍්‍ර ලෙස වර්ධනය වන ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය

පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය ශ‍්‍රීඝ‍්‍ර ලෙස වර්ධනය විය. 2007 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 213 ක අදායමක් ඉපැයූ මෙම ක්ෂේත‍්‍රය වසර 6ක් ඇතුළත 238%ක වර්ධනයක් පෙන්නුම් කරමින් 2013 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන හත්සියයකට වඩා වැඩි ආදායමක් ඉපැයීය. එසේම 2007 වසරේදී තිස් දාහක් පමණ වෘත්තිකයන් හට රැුකියා සැපයූ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය මේ වන විට එවන් තුන් ගුණයකට පමණ රැුකියා සපයයි. 2007 වසරේදී 3866 ක් තොරතුරු තාෂ්ණවේදී උපාධිධාරීන් බිහි කළ ලංකාව 2014 වසර තුළ 7000 කට වඩා එම උපාධිධාරීන් බිහි කළේය.

2013 වසරේදී එක්සත් රාජධානියේ National Outsourcing Association විසින් Outsourcing Destination of the Year සම්මානයෙන් ලංකාව පුදනු ලැබීය. ඒ වගේම අන්තර්ජාතික සමීක්ෂණ වාර්තාවලට අනුව ලොව පුරා තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ආයෝජනය සදහා සුදුසුම ස්ථාන 15 තුළට ලංකාව නිතැතින්ම ඇතුළත් වේ.

ඉන්දියාවට නොගොස් ලංකාවට එන ආයෝජකයින් කියන කතාව

මෙම වත්මන් සුබවාදී තත්වයට සහ ශ‍්‍රීඝ‍්‍ර වර්ධනයට හේතුව මෙම  ක්ෂේත‍්‍රයේ ආයෝජනයන් සිදු වීමයි. ලංකාව තුළ සෘජු විදෙස් ආයෝජනයන් දිනාගැනුමට සමත් වූ ප‍්‍රධානම ක්ෂේත‍්‍රයකි තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය. එක් ආයෝජකයෙකු දිනා ගන්නවා මෙන් නොව කිසියම් ක්ෂේත‍්‍රයක් උදෙසා සෘජු විදෙස් ආයෝජනයන් දිනා ගැනීමේ ප‍්‍රවණතාවයක් ඇති කර ගැනීමට හැකි වීම ශ‍්‍රී ලංකාව ලබාගත් සුවිශේෂී ජයග‍්‍රහණයක් බව නොකිව මනාය. එසේ නම් එම තත්වයට හේතුව අප දැනගත යුතුය.

"The availability of top tier talent and low cost operations in Sri Lanka made it a logical choice for our company. Sri Lanka offers us a great base to expand into Asia."
-Alistair Sorbie, CEO/President, IFS

ඇලිස්ටෙයාර් සෝබි මහතාගේ ඉහත ප‍්‍රකාශය තුළ විදෙස් ආයෝජකයින් ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ආයෝජනය කරන්නේ මන්ද යන කාරණාව පැහැදිළි වී ඇත. ලංකාවේ ආයෝජනය මගින් ආසියාවේ සෙසු රටවලට ව්‍යාප්ත වීමට මනා පදනමක් ලැබෙන බව ආයෝජකයා පවසයි. එය බොහෝ විට අදාළ වන්නේ ආසියාතික නොවන රටක් හා සංසදනය කිරීමේදීය. මෙම කලාපය තෝරාගන්නා ආයෝජකයකුට ප‍්‍රථමයෙන්ම පෙනෙන්නේ කුඩා ශ‍්‍රී ලංකාව නොව විශාල වෙළඳපලක් සහ ශ‍්‍රම බලකායක් සහිත ඉන්දියාව බව නොකිව මනාය. ඉන්දියාවේ ආයෝජනය තුළින් දකුණු ආසියාවේ විශාලම ප‍්‍රදේශයක් ආවරණය වනවා ඇත. මෙම ආයෝජකයින් ලංකාවේ ආයෝජනය කිරීමට තෝරා ගෙන ඇත්තේ එම ආයෝජනය ඉන්දියාවේ සිදු නොකර බව අප වටහා ගත යුතුය. එසේ වීමට බලපෑ ප‍්‍රධානතම හේතු දෙකක් ආයෝජකයෝ දක්වති. එනම් විශිෂ්ට මට්ටමේ කුසලතාවය සහ අඩු පිරිවැය වේ.

වර්ධනයට හේතු වන සමතුලිත පද්ධතිය

මෙරට වෘත්තිකයන් සතු උසස් මට්ටමේ කුසලතාවය ආයෝජකයින් ලංකාව තෝරා ගැනීමට ප‍්‍රධාන හේතුවක් වී ඇත. ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය පිලිබද මෙලෝ හසරක් නොදන්නා රජයේ දේශපාලකයින් විසින් ඉන්දියානු සුපිරි වෘත්තිකයන්ගෙන් මෙරට වෘත්තිකයන් හට උගත හැකියයි පවසන්නේ මෙරට වෘත්තිකයන් සතු උසස් කුසලතාවය විදේශීය ආයෝජකයින් හට ඉන්දියාවේ ආයෝජනය නොකර ලංකාවේ ආයෝජනය කිරීමට හේතුවක් වී ඇති බව නොදැන වීම කණගාටුවට කාරණයකි. ලංකාවේ වෘත්තිකයන් විසින් දක්වන මෙම උසස් කුලතාවයට හේතු වන්නේ දක්ෂ සිසුන් මෙම ක්ෂේත‍්‍රයට ආකර්ෂණය වීමයි. එම ආකර්ෂණයට බලපාන ප‍්‍රධාන හේතුව වනුයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වැටුප් මට්ටම ලාංකීය වෘත්තිකයාට සෑහීමට පත්විය හැකි මට්ටමක පැවතීමයි.

තොරුතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ පිරිවැයෙන් වැඩිම කොටසක් වන්නේ වැටුප්ය. එසේ නම් ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ වැටුප එම ක්ෂේත‍්‍රය වෙත දක්ෂ සිසුන් ආකර්ෂණය කර ගන්නට සමත් වී ඇති අතරම ආයෝජකයාට අඩු පිරිවැයක් සලසන්නටද හැකි ලෙස තුලිත වී ඇති බව අපට පෙනී යා යුතුය. දක්ෂ සිසුන් ආකර්ෂණය ආයෝජකයා දක්වන අනෙක් ප‍්‍රධාන හේතුව වන උසස් මට්ටමේ කුසලතාවයටද ප‍්‍රධානතම හේතුව බවද පැහැදිලිය. ආයෝජකයින් පැමිණීම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ  නව රැුකියා උත්පාදනයටත් එම රැුකියා වෙළදපලේ වැඩිවන ඉල්ලූමට සාපේක්ෂව නිවැරදි ලෙස උපාධිධාරීන් බිහිවන සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යෑමත් මගින් යළි තොරතුරු තාක්ෂණ රැුකියා වෙළදපලේ වැටුප් සමතුලිත වී ඇත. තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය මෙලෙස ගතික සමතුලිත පද්ධතියක් ලෙස ක‍්‍රියාත්මක වීම මෙම ශ‍්‍රීඝ‍්‍ර වර්ධනයට හේතුවන බව තේරුම් ගන්නට රජයේ ඊනියා ආර්ථික විශේෂඥයින් අධ්‍යනයක් සිදු කර නැත. මෙම සමතුලිතතාවය මත බිහිවන උසස් කුසලතාවය සහ අඩු පිරිවැය නිසා ඇතිවන වර්ධනය තව දශකයක් පමණ පවත්වා ගත හොත් ලංකාවට විදේශ විනිමය උපයන ප‍්‍රධානම අංශය බවට පත් වීමේ විභවයක් තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය සතුව පවතින බවද ඔවුන් දන්නේ නැත.

එට්කා ගිවිසුම ලංකාවට එන ආයෝකයාට ලංකාව අතහැර ඉන්දියාවට යාමට ඉදිවන පාලමකි

එට්කා ගිවිසිම අත්සන් කළ හොත් ඉතා ඉක්මණින් මෙම සමතුලිතතාවය බිදී යනු ඇත. මෙම ගිවිසුම අත්සන් කළ පසු ලංකාවේ රැුකියා වෙළද පලේ සැපයුම දේශසීමා අභිබවා යමින් ඉන්දියාව දක්වා පුළුල් වීම තුළ මෙරට වැටුප් තල ඉක්මණින් පහත යනු ඇත. එවිට දක්ෂ සිසුන් මෙම ක්ෂේත‍්‍රයට ආකර්ෂණය නොවනු ඇත. නිති පතා අලූත්වන තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයට දක්ෂ නවකයින් එක් වීම අතිශය වැදගත් වේ. එය අවම වීම තුළ මෙම ක්ෂේත‍්‍රය තුළ ආයෝජකයා පෙර දුටු උසස් කුසලතාවය නමැති සාධකය මෙරට තුලින් ඉතා කෙටි කලකින් සිදී යනු ඇත. එවිට එම ආයෝජකයාට ඉන්දියාවේ ආයෝජනය නොකොට ලංකාවේ ආයෝජනය කරන්නට තිබුනු සුවිශේෂී හේතුව නැතිව යනු ඇත. එම ආයෝජකයින් විසින් විශාල වෙළද පලක් සහ ශ‍්‍රම බලකායක් සහිත ඉන්දියාවම ලංකාව වෙනුවට තෝරා ගන්නවා ඇත.

මෙම ගිවිසුම අත්සන් කළ යුතු යයි එක හඬින් පවසන රජයේ උපදේශකයෝ  වෘත්තිකයන් සමඟ පැවැත්වූ සාකච්ඡුාවේදී තමන් සමස්තයක් ලෙස මෙම ගිවිසුමේ වාසි අවාසි පිලිබද අධ්‍යයනයක්්වත් කර නොමැති බවත් එසේම මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය අරඹයා කිසිදු හැදෑරීමක් තමන් විසින් සිදු කර නොමැති බවත්  පිළි ගත්තෝය. නමුත් ඉන්දියානු උපදේශකයින් විසින් තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයට මෙම ගිවිසුම මුලින්ම බලාත්මක කළ යුතු යයි යෝජනා කරන්නේ ඉන්දියාව පැත්තෙන් නම් ඉතා දුර දක්නා නුවණින් යුතුව ලංකාවේ විභවය නසා එම ආයෝජකයින් ඉන්දියාව වෙත ගෙන්වා ගැනීමට ගණන් බලා බව මේ උපදේශකයින්ට නොවැටහෙනවාද නැතිනම් ඔවුන්ද ඒ ඉන්දියානු ව්‍යාපෘතියේම කොටස්කරුවන්ද යන වග අපි නොදනිමු.

රටම ගිල ගන්නා එට්කා

මෙම ගිවිසුම නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය වැනි ඉහළ විභවයක් සහිත ක්ෂේත‍්‍ර ඉන්දියාව විසින් ඩැහැ ගන්නවාට අමතරව, දෙරට අතර වෙළද පරතරය ශ‍්‍රීඝ‍්‍ර ලෙස ලංකාවට අවාසිදායක ලෙස වැඩි වනවාට සැක නැත. දැනටත් ලංකාවේ ඉන්දියාව සමඟ වාර්ෂික වෙළද පරතරය සෘණ ඇමරිකානු බොලර් බිලියන 3.5ක් පමණ වේ. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සෘණ 4.5% ක් වැනි ඉතා ඉහළ අගයකි. මේ රට ගැන හිතන, මේ රටට ආදරය කරන ආර්ථික විශේෂඥයින් නම් රජයට උපදෙස් දිය යුත්තේ මෙම අවාසිදායක තත්වය තවත් වර්ධනය කරන එට්කා ගිවිසුම් අත්සන් කිරීමට නොව, මෙම වෙළද පරතරය අවම කර ගැනීමට උපාය උපක‍්‍රම තේරීමටයි. රජයේ කේවට්ඨ උපදේශකයින් පුන පුනා පවසන්නේ මෙම ගිවිසුම දෙරට අතර භාණ්ඩ හා සේවා සහ ආයෝජනයන් පහසු කරමින් දෙරටටම  වාසි සහගත තත්වයක් උදා කරවනු ඇති බවයි. එය එසේ නම් ඉන්දියාව තමන් වැඩියෙන්ම භාණ්ඩ හා සේවාවන් වෙළදාම් කරන චීනය සමඟ මෙවන් ගිවිසුමකට යාමට යෝජනා  නොකරන්නේ මන්දැයි මෙම ඉන්දියානු හිතවාදී ලංකාවේ උපදේශකයින් මෙරට ජනතාවට පැහැඳිළි කළ යුතු නොවේද?

එට්කා යනු ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාව සිය ගෙල ග‍්‍රහණයට ලක් කර ගැනීමේ ව්‍යාපෘතියේ ප‍්‍රධානතම පියවරකි. මේ ගිවිසුම හරහා ස්වදේශික වෘත්තිකයා, ශ‍්‍රමිකයා සහ ව්‍යවසායකයා අතරමං කොට ලාංකීය ආර්ථිකයේ අයිතිකරුවන් බවට ඉන්දියානුවන් පත්වනු ඇත. එලෙස ආර්ථිකය සිය ග‍්‍රහණයට ගන්නවාට අමතරව මේ රට තුළ සමාජීය සහ දේශපාලන ගැටළු රාශියක්  මැවීමේ හැකියාව ඉන්දියාවට අත්වනු ඇත. වසර කිහිපයක් තුළ මේ රටේ ජන සංයුතියේ වෙනස් වීමක් පවා මෙමගින් ඇති විය හැකිය. අපි මේ ආකාරයේ දේශපාලන සහ සමාජීය ප‍්‍රශ්නවලින් දිගින් දිගටම බැට කෑ රටකි. ඉන්දියාව යනු ත‍්‍රස්තවාදීන්ට ආයුධ පුහුණුව ලබා දීමේ සිට, ඉන්දීය වතු කම්කරුවන්ගේ ගැටළුව, ඉන්දු ලංකා ගිවිසුම හරහා බලහත්කාරයෙන් තමන්ට අවශ්‍ය පරිදි අපේ රටේ ව්‍යවස්ථාව පවා වෙනස් කරවීම දක්වා ඉතා භයානක ආකාරයෙන් ලංකාව වෙත මැදිහත් වූ අසල්වැසි බලවතෙක් බව අපි දනිමු. එට්කා ගිවිසුම ලංකාව ඉන්දියානු කොලනියක් බවට පත් කර ගන්නා ඒ බලහත්කාරී ආක‍්‍රමණයේ දෙවන වටයයි. 

-ලසන්ත වික‍්‍රමසිංහ
ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ් සංසදය (AITP)

No comments:

Post a Comment

Pages